ඇමෙරිකාවේ නාසා ආයතනයේ, ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීහු සිවුදෙනා, එස්.එල්.එස්. හෙවත් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති අධි බලැති රොකට්ටුව මුදුනට සම්බන්ධ කර තිබුණු ‘ඔරායන්’ ගගන කැප්සියුලයේ අසුන් ගෙන සිටියහ.
‘ආටිමිස් 2’ වසර 57 කට පසු, යළි සඳට යෑමේ නාසා චන්ද්‍ර මෙහෙයුමය. ඇත්ත වශයෙන්ම ‘ආටිමිස් 2’ යනු පෙරහුරු මෙහෙයුමකි. ගගනගාමීන් රැඟත් ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගොඩ බෑමක් කරන්නේ නැත. එය ගගනගාමීන් රැගෙන සඳට ගොස්, සඳ වටා කැරකී ආපසු පෘථිවියට එනු ඇත. ඒ දින 10 ක වික්‍රමයකින් පසුවය.
ඉරානය සමඟ කෙහෙවලු පටලවාගෙන සිටින ඇමෙරිකාව, යුද ගිනි මැද මේ අයුරින් චන්ද්‍ර මෙහෙයුමක් ආරම්භ කිරීම සැබැවින්ම අපූරුය. මෙය ඇමෙරිකාවේ තාක්ෂණයේ බලමහිමය ලොවට පෙන්වීමකි. ඇමෙරිකාවේ අභ්‍යවකාශ ගවේෂණවල තරම ලොවට පෙන්වීමකි. සුළු වැරදීමකට හෝ ඉඩක් නොතිබුණි. මෙහෙයුම ඉතා අවදානම්ය.
අද අප්‍රේල් දෙවැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 3.54) ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටුව ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට, නාසා පාලන මැදිරිය ගණන් කිරීම් ආරම්භ කළේය.
“දහයයි, නවයයි, අටයි, හතයි, හයයි, පහයි, හතරයි, තුනයි, දෙකයි එකයි ...” රොකට්ටුවේ ප්‍රබල ඇන්ජින් පණ ගැන්විණි. මහා ගිගිරුම් හඬක් සමඟ, එය වේගයෙන් ඉහළට ඇඳී යෑම ආරම්භ විය. ඒ රැස්ව සිටි නරඹන්නන්ගේත්, නාසා ආයතනයේ තාක්ෂණශිල්පීන්, ඉන්ජිනේරුවන් ආදී මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
ප්‍රබල රොකට්ටුවේ ආධාරයෙන්, ගගනගාමීන් අසුන්ගෙන සිටි ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට තල්ලු කිරීම සිදුවිය. සැලැසුම් කළ ආකාරයටම, කිසිදු දෝෂයක් නොමැතිව, අදියරෙන් අදියර, රොකට්ටුව කැබලි වශයෙන් පහළ සාගරයට පතිත විය. සාගරයට වැටුණු එම කොටස් යළි ප්‍රයෝජනයට ගැනීමට ඒවා එකතු කිරීම සිදු කළේ ඇමෙරිකන් නාවික හමුදාවය. ඒවා යළි යළිත් භාවිතයට ගැනීම සිදුවෙයි.
රොකට්ටුවෙන් මිදුණු ‘ඔරායන්’ ගගන කැප්සියුලය, සඳ බලා යන ගමන ආරම්භ කළේ ඉන්පසුවය. ඒ සඳහා ‘ඔරායන්’ ගගන කැප්සියුලය පණ ගැන්විණි. සියල්ල සාර්ථකයි යැයි නාසා පාලන මැදිරිය පැවැසීමත් සමඟ, ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා යෑම ආරම්භ කළේය.
මෙම වික්රමයට සහභාගී වන ගගනගාමීන් සිවුදෙනාගෙන් නාසා ගගනගාමීන් සිටින්නේ තිදෙනකු පමණි. සිවුවැන්නා නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරන කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියෙකි. ඔහු ජෙරමි හැන්සන්ය. නාසා ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීම විශේෂත්වයකි. ඇය ක්‍රිස්ටිනා හැමොක් කොච්ය. ඇය නිරන්තරයෙන් අභ්‍යවකාශ නැවතුම්පොළට ආ ගිය තැනැත්තියකි. අභ්‍යවකාශ ගමන් ගැන පලපුරුද්ද ඇති අයෙකි.
සඳ බලා යන පළමු කාන්තාව ක්‍රිස්ටිනා වීම ද විශේෂත්වයකි.
‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙන්නේ නාසා ගගනගාමී රීඩ් වයිස්මන්ය. කැප්සියුලයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්ය. මොවුන් දෙදෙනා ද පළපුරුදු ගගනගාමීන්ය. වික්ටර් ග්ලෝවර් කළු ජාතිකයෙකි. ඒ අනුව සඳ බලා යන පළමු කළු ජාතිකයා ගගනගාමියා ග්ලෝවර්ය.
‘ආටිමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුව, නාසා ආයතනය වසර 2035 න් පසුව, ‘ආටිමිස් 3’ මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතය. එම මෙහෙයුමේ දී වැඩි දියුණු කරන ලද ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ මත පතිත කෙරේ. පළමුවෙන් කාන්තා ගගනගාමිනියක ද සඳ මත පය තැබීම සිදුවනු ඇත්තේ ‘ආටිමිස් 3’ මෙහෙයුමේදීය.
මීට 57 වසරකට පෙර, පළමුවෙන්ම මිනිසුන් සඳට යැවීම කළේ ද නාසා ආයතනයයි. 1969 ජූලි 20 ඇපලෝ 11 මෙහෙයුම යටතේ, නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූහ. ඉන් අනතුරුව, 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක විය.
තවත් ගගනගාමීහු 12 දෙනෙක් වරින් වර සඳට බය තැබූහ. ඔවුන් පෘථිවියට රැගෙන ආ චන්ද්‍ර පාෂාණ ප්‍රමාණය කිලෝග්‍රෑම් 382 කි. සඳේ භූ විද්‍යාව පිළිබඳ මූලික දැනුම විද්‍යාඥයන්ට ලැබුණේ ඒ අනුවය. ඇපලෝ මෙන්ම ආටිමිස් ද ග්‍රීක දේව පුරාණයට සම්බන්ධ චරිත ලෙස සැලකෙයි.
ඇපලෝ ග්‍රීක දේවකතාවලට අනුව, සූර්යයාට අධිපති දෙවියාය. සූර්යයාට අධිපති දෙවියා වුවත්, 1960 සහ 70 දශකවල සඳට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුම් ඇපලෝ නමින් නම් කෙරුණි. ග්‍රීක දේව පුරාණයට අනුව ආටිමිස් යනු ඇපලෝ දෙවියාගේ නිවුන් සොහොයුරියයි. ඇය සඳට අධිපති දෙවඟනය.
බොහෝ දෙනකු අසන්න වූ ප්‍රශ්නයක් නම් ඇපලෝ මෙහෙයුම් මාලාවේ ඇපලෝ 17 චන්ද්‍ර මෙහෙයුමෙන් පසු ගගනගාමීන් සඳට නොගියේ ඇයි ද යන්නය. සඳ ගමන ලොකු බොරුවක්දැයි ද ප්‍රශ්න කෙරුණි.
ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු ගගනගාමීන් සඳට නොයෑමට ප්‍රධාන හේතුව අධික වියදමය. ඇපලෝ 11 මෙහෙයුම හරහා පළමු සඳ ගමන සිදුවූයේ ඇමෙරිකාව සහ සෝවියට් දේශය (අද රුසියාව) නිරවි යුද සමයේ එකිනෙකාගේ බලපුළුවන්කාරකම් පෙන්වද්දීය.
අවසානයේ අභ්‍යවකාශය සහ අවසානයේ සඳ ජය ගැනීමේ මෙහෙයුමෙන් ජයග්‍රහණය කළේ ඇමෙරිකාවය. සඳ ජය ගැනීමෙන් පසු ඇමෙරිකාවට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුදල් වැය කිරීමේ දේශපාලනික අවශ්‍යතාවය අඩු විය. නාසා ආයතනය අභ්‍යවකාශ ෂටල සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ කෙරෙහි අවධානය යොමු කළේය.
යළිත් වරක් සඳට යා යුතු යැයි නාසා ආයතනය දිරිමත් කළ තැනැත්තා වන්නේ ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් යළි සඳට යා යුතු යැයි පවසමින්, නාසා ආයතනය උනන්දු කළේ 2020 දීය. ඒ, ඔහුගේ පළමු ධුර කාලයේදීය. ට්‍රම්ප් සිය පළමු ධුරය හෙබවූයේ, 2017 සිට 2021 දක්වාය.
‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ වෙන්නැයි නාසා ආයතනය මෙම වසර ආරම්භයේ දී ලෝකවාසීන්ට ආරාධනා කර තිබුණි. ‘ආටිමිස් 2 සමඟ ඔබේ නමත් සඳට යවන්න’ වැඩසටහන යටතේය. මා ද ඇතුළත්ව, දහස් ගණනින් ලොකු කුඩා කවුරුත් තම තමන්ගේ නම් ඊට ඉදිරිපත් කළේ නාසා වෙබ් අඩවිය හරහා සම්බ්නධ වී, අදාළ පෝරමය පුරවමිණි. එසේ යොමු කෙරුණු නම් ලැයිස්තුව, ඩේටා කාඩ්පතකට ඇතුළත් කර ඇති අතර, ‘ඔරායන්’ ගගන කැප්සියුලය එම ඩේටා කාඩ්පත ද රැගෙන යෑම සිදුවෙයි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
